General29 August 2026

කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහිදී, එම අධිකාරිය සඳහන් කරන්නේ, “BREAKING NEWS” ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාළ සටහනේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 260කින්, කල්කිරි බෝතලයක මිල රුපියල් 40කින් සහ යෝගට් එකක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව, එම මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි පුවත් නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයක් මගින් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කිරීමෙන් වළකින ලෙසද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes