General30 August 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

සබරගමුව පළාත මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද (30) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.

මීට අමතරව ඌව පළාත, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මධ්‍යම කඳුකරයේ බස්නාහිර බැවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40-50 ත් අතර තද සුළං තත්ත්වයක් ඇති විය හැකියි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර අද දහවල් 12:11ට මන්නාරම, පෙරියමඩුව, පුලියන්කුලම, වැලිඔය සහ මුලතිව් යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes