Sports30 September 2025

ඉන්දු - ලංකා කාන්තා සටනෙන් ඉන්දියාවට ජය

කාන්තා එක්දින ලෝක කුසලානයේ මංගල තරගය ලෙසින් අද (30) පැවති ශ්‍රී ලංකා - ඉන්දු කාන්තා කණ්ඩායම් අතර තරගය ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ ලකුණු 271ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.4ක් අවසානයේ කඩුළු සියල්ල දවාගෙන ලකුණු 211කට සීමා කරමින්.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, නායිකා චමරි අතපත්තු ලකුණු 43ක්ද, හසිනි පෙරේරා ලකුණු 14ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 11ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 15ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 35ක්ද, අනුෂ්කා සංජීවනී ලකුණු 06ක්ද, සුගන්ධිකා කුමාරි ලකුණු 10ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් දීප්ති ශර්මා කඩුළු 03ක්ද, ස්නේ රානා සහ ශ්‍රී චරණී කඩුළු 02 බැගින්ද, ක්‍රාන්ති ගවුඩ් එක් කඩුල්ලක්ද, අමන්ජොත් කෞර් සහ ප්‍රතිකා රාවල් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවර පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 269ක් රැස් කර ගැනීමට සමත් වුණා.

තරගය අතරතුරදී පිටියට ද හැළුනු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්, හාර්ලීන් ඩියෝල් ලකුණු 48ක්, ප්‍රතිකා රාවල් ලකුණු 37ක් සහ හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 21ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඊට අමතරව දීප්ති ෂර්මා ලකුණු 53ක් සහ අමන්ජොත් කෞර් ලකුණු 57ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුළු 4ක් දවාගත් අතර, අචිනි කුලසූරිය ලකුණු 42කට එක් කඩුල්ලක් දවා ගත්තා.
Related Recomands
Hiru TV News | Programmes