Sports24 June 2026

සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්

ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිට (Vaibhav Sooryavanshi) ඉදිරි එංගලන්ත විස්සයි20 සංචාරයේදී එංගලන්ත ආරක්ෂණ රෙගුලාසි (Safeguarding Regulations) හේතුවෙන් වෙනම ඇඳුම් මාරු කිරීමේ පහසුකම් භාවිත කිරීමට සිදුවන බව බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' (The Guardian) පුවත්පත වාර්තා කරනවා.

ලබන සිකුරාදා බෙල්ෆාස්ට්හිදී අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ජාත්‍යන්තර වරම් දිනාගනිමින් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලාබාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට නියමිත 15 හැවිරිදි සූර්යවංශි, ඉන් අනතුරුව තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා එංගලන්තය බලා යාමට නියමිතයි.

'ද ගාඩියන්' පුවත්පතට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආරක්ෂණ රීති සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) රෙගුලාසිවලට අනුව වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ක්‍රීඩකයින්ගේ ඇඳුම් මාරු කරන කාමර භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

මේ හේතුවෙන් එංගලන්ත සංචාරයේදී සියලුම ක්‍රීඩාංගණවල සූර්යවංශි වෙනුවෙන් වෙනම පහසුකම් සැලසීමට පියවර ගනු ඇති.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන අතරතුර සහ කණ්ඩායම් රැස්වීම්වලදී ඉන්දීය ක්‍රීඩාගාරය (Dressing Room) තුළ රැඳී සිටීමට ඔහුට අවසර හිමිවන අතර, මෙම සීමාව බලපැවැත්වෙන්නේ තරගවලට පෙර සහ පසුව ක්‍රීඩකයින් ඇඳුම් මාරු කරන අවස්ථාවලදී පමණයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂණ පියවරයන් තහවුරු කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ ක්‍රීඩාංගණ බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන්.

තවද, මෙම සංචාරය පුරාම සූර්යවංශිගේ දෙමාපියන් ද ඔහු සමග රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පසුගියදා නිමාවූ අයි.පී.එල් (IPL) තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට එරෙහිව පන්දු 29කින් ලකුණු 94ක් රැස්කරමින් ඉන්දියා 'ඒ' කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් වෛභව් සූර්යවංශි වර්තමාන ක්‍රිකට් ලොවේ නැගී එන දීප්තිමත් යොවුන් තරුවක් ලෙස අවධානයට ලක්ව තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes