Sports09 July 2026

ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් තරගයේ කාලය කා දැමූ චෝදනාවට කොදෙව්වන්ට දඩ

ශ්‍රී ලංකාව කණ්ඩායම සමග ඇන්ටිගුවාහි පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පනවා තිබෙනවා.

මීට අමතරව, ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔවුන් ලබාසිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2ක් කපා හැරීමටද තීරණය කර තිබුණා.

මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් වාර්තා කර ඇත්තේ, කොදෙව් කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර 2ක් අඩුවෙන් යොමු කර ඇති බවයි.

ICC චර්යාධර්ම සංග්‍රහයට අනුව කණ්ඩායමක් නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සඳහාම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් පැනවෙනවා.

එය සියයට 50ක උපරිමයක් දක්වා පැනවීමේ හැකියාවක් පවතින අතර, ඒ අනුව කොදෙව්වන් පන්දුවාර 2ක් ප්‍රමාද වූ බැවින් ඔවුන්ට සියයට 10ක දඩයක් ගෙවීමටයි නියම කර ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග කොන්දේසි අනුව, නියමිත කාලය තුළ සම්පූර්ණ නොකරන සෑම පන්දුවාරයක් සඳහාම ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනෙන් 1 ලකුණ බැගින් කපා හැරෙනවා.

ඒ අනුව ඔවුන්ගෙන් ලකුණු 2ක් කපා හැර තිබෙනවා.

කොදෙව් නායක රොස්ටන් චේස් විසින් අදාළ වරද පිළිගෙන, පැනවූ දඬුවමට එකඟත්වය පළ කර ඇති බැවින්, මේ සම්බන්ධයෙන් ඉදිරියට විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ICCය දැනුම් දී තිබුණා.
Related Recomands
Hiru TV News | Programmes