Update: 19 ට, තවත් පිටු 12ක සංශෝධනයක්

Monday, 06 April 2015 - 8:30

Update%3A+19+%E0%B6%A7%2C+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94+12%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
19 වන ආණ්ඩුක්‍රරම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගය අද (06) අවසන් කෙරුණා. ඒ අනුව ඊට අදාළ තීන්දුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවයි අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේ.

යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය මාර්තු 24 වැනිදායි. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා. ඉන් පෙත්සම් 5ක් මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත්ව තිබූ අතර, පෙත්සම් 14ක් ඉදිරිපත්ව තිබුණේ පනත් කෙටුම්පතට විරුද්ධවයි. අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, චන්ද්‍රා ඒකනායක සහ ප්‍රියසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම් විභාගය ආරම්භ කෙරුණේ පසුගිය බදාදායි. එදින සිට දින 3ක් පුරා මෙම පෙත්සම් විභාග කෙරුණු අතර අද දිනයේ සිදුකෙරුණේ නීතිපතිවරයාගේ කරුණු දැක්වීමයි.

19 වන සංශෝධනය ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කර ගත හැකි බව නීතිපතිවරයා මෙහිදී කරුණු දක්වමින් කියා සිටියා. අගවිනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළේ අදාළ කෙටුම්පත මගින් ජාතික සමගියේ සංකේතය වශයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති බවයි. ජාතික සමගියේ සංකේතය වශයෙන් දැනට ජාතික කොඩිය තිබියදී ජනාධිපතිවරයා ඊට අදේශ කිරීම ගැටළුසහගත බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස අගවිනිසුරුවරයා නීතිපතිවරයා වෙත දැනුම් දුන්නා.

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් අග්‍රාමාත්‍යවරයා නම් කිරීම තුළින් ද ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදුවීමක් සිදුනොවන්නේ දැයි අගවිනිසුරුවරයා තවදුරටත් මෙහිදී ප්‍රශ්න කර තිබෙනවා. අගවිනිසුරුවරයා මතු කළ කරුණු සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දැනුම් දුන්නා.

මේ අතර, මේ මස 9 සහ 10 යන දිනවලදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එහිදී 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බදාදා දිනයේදී තමන් වෙත ලැබෙන බව කථානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා. තීරණය ලැබුණු පසු පැය කිහිපයක් ඇතුළත පක්ෂ නායක රැස්වීමක් යළි කැදවා ඊට අදාළ විවාදය බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි පවත්වන්නේ ද යන්න තීරණය කරනු ඇති.

මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ 19 වන සංශෝධනයට නීතිපතිවරයා විසින් පිටු 12කින් යුක්ත සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. එය පසුගිය දා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනයට  පටහැනි බව ද ඔහු මෙම පක්ෂ නායක රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා. මේ නිසා මෙම සංශෝධන සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද පක්ෂ නායක රැස්වීමේදී කරුණු දක්වා තිබෙනවා. ඔහුගේ එම අදහසට සහාය පළ කරමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර සහ ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කරුණු ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවට එක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ එළඹෙන 9 සහ 10 දිනවල 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාද කර සම්මත කර ගැනීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ බවයි.



Update: Monday, 06 April 2015 - 07:20 PM
.................................................
19 ගැන නීතිපතිගේ කරුණු දැක්වීම අද

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සිදුකිරීමට නියමිතයි.

පෙත්සම් 19 ක් අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඇතුලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අවසන්වරට විභාගයට ගැනුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි. එහිදී පෙත්සම් යළි සලකා බැලීම අදට කල් දැමුණා.

අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන මගින්. ඉන් පෙත්සම් 9 ක් යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට නොයා යුතු බවටත්, එය පාර්ලිමේන්තු බහුතරයක් මගින් සම්මත කරගත යුතු බවටත් කරුණු ඉදිරිපත් කර තිබුණා. ඉතිරි පෙත්සම් 10 ගොනු කර තිබුණේ යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories