කුමාර් ගුණරත්නම් ජවිපෙ තුළ සිටියා - සෝමවංශ පළමු වරට හෙළි කරයි

Saturday, 07 November 2015 - 19:35

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කුමාර් ගුණරත්නම් යනුවෙන් සාමාජිකයෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සිටි බව එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ පළමු වතාවට අද (07) පිළිගත්තා. ඒ, මීට පෙර ඔහුව පැහැර ගැනීමේ සිද්ධිය පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටින බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව අප ඔහුගෙන් කළ විමසීමකදීයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම්, අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට දැඩි අවශ්‍යතාවක් පැවතුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණා. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන්ට කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප පවා ලබාදෙමින් ඔහු රැදී සිටින ප්‍රදේශ පිළිබඳව තොරතුරු ලබාදුන් බවයි. එසේම, ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන්ට ලැබුණු කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප තහවුරු කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙත යැවූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන්නේ අදාළ පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින්.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ මෙවර කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින්නේද රතු අලි පැටවෙකු බවයි.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවේදී හිරු මාධ්‍යවේදියා පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගෙන් සතිඅන්ත පුවත්පතේ පළ වී තිබූ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ‘‘සම්පූර්ණයෙන්ම  ඕක අපි ප්‍රතික්ෂේප කරනවා. අපි විස්තර දුන්නා නම්, ඒක එදා කියන්න තිබුණානේ. එතකොට අර සුදු වෑන් එව්වේ, ලලිත්, කූගන් පැහැර ගත්තේ අපි විස්තර දීලා ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපි මතක් කරන්න  ඕනි මේ රටේ මිනිස්සු රට අතෑරලා ගිය පසුගිය ජනාධිපතිවරණ සමයේ තමයි කුමාර් ගුණරත්නම් ලංකාවට එන්නේ. එයා ආවේ ඔවුන්ගේ අපේක්ෂක දුමින්ද නාගමුව දිනවන්න ද?’’ මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කුමාර් ගුණරත්නම් පැහැර ගැනීමට ලක්වු 2012 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ සෝමවංශ අමරසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එවැනි තොරතුරු ලබාදීමක් හෝ එවැනි සිදුවීමක් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට වාර්තා නොවූ බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (07) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සතිඅන්ත පුවත්පතකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පළ කර තිබූ අදහස් සම්බන්ධයෙන් එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ එවැනි දෙයක් සිදුකර ඇත්නම් එය විශාල පාවාදීමක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories