යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට කොළ එළියක්

Tuesday, 17 November 2015 - 8:37

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ලක් රජයට සහය වන ලෙස යුරෝපා සංගමය එහි ඉහළ පෙළේ නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන ලෙසයි යුරෝපා කොමිසම දැනුවත් කර ඇත්තේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමින් යුරෝපා සංගමය ඊයේ මේ බව ප්‍රකාශ කළා. එහි දැක්වෙන්නේ ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලබාදීමේදී එම ප්‍රතිලාභය හිමි වන රටවල මානව හිමිකම් සහ කම්කරු අයිතීන් මෙන්ම පාරිසරික ආරක්ෂණය සහ යහපාලනය ද සැලකිල්ලට ගනු ලබන බවයි. මෙලෙස යහපාලනය තුළින් තිරසාර සංවර්ධන උදෙසා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා. ඒ අනුවයි ජී.එල්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත මෙරටට ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත්තේ.

යුරෝපීය රටවලට සිදුකරන මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා පනවා ඇති තහනම ද කඩිනමින් ඉවත් කිරීමට හැකි වනු ඇති බව යුරෝපා කවුන්සිලය ඊයේ නිකුත් කළ නිවේදනයේ සදහන්. ඉන්දීය සාගර ටූනා කොමිසමේ රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ද එහි දැක්වෙනවා. මත්ස්‍ය අපනයනවලට අදාළව තම නීතිමය රාමුවට අනුව කටයුතු කිරීමට ද ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බව යුරෝපා සංගමයේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාවේ නව රජය පත්වීමෙන් පසු දූෂණය පිටුදැකීමට, මානව හිමිකම් සුරැකීමට, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට සහ තිරසාර සංවර්ධනයක් උදෙසා යොමුවීමට ගෙන ඇති පියවර ද යුරෝපා සංගමයේ ප්‍රශංසාවට ලක්වන බවයි එමගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව ඇති කිරීම සඳහා උතුරු - නැගෙනහිර සිවිල් පරිපාලනය යළි ස්ථාපිත කිරීම වැනි පියවර තුළින් ඉදිරි පියවර ගෙන ඇති බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා.

මේ නිසා ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව යුරෝපා කවුන්සිලය සිය නිවේදනය මගින් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories