ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ කිහිපයකට තද වැසි

Friday, 18 May 2018 - 18:44

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 - 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් හෙට පස්වරු 4.30 දක්වා වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව කියාසිටියේ.

මෙම කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුල ද පවතිනු ඇතැයි බලාපොරොත්තුවනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව, දකුණ, මධ්‍යම පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්වලට මෙම තද වැසි තත්වය බලපානු ඇති.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි.

එමෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර අද රාත්‍රී 10 පමණ වන තෙක් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත තද වැසි සහ සුළං ඇතිවිය හැකියි.

දිවයින වටා වන මුහුදේ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් පවතිනවා.

මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

දිවයිනට බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වළාකුලු පද්ධතියක් වර්ධනය වීම හේතුවෙන් මෙම වැසි තත්වය පවතින අතර එය ඉදිරි පැය කිහිපය තුලදී ද සක්‍රියව පවතිනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

මේ අතර තවත් දින 4කින් නිරිතදිග මෝසම සක්‍රිය වන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 ලබන 26 වන දා දක්වා අඛණ්ඩව මිලිමීටර් 100ට වැඩි වර්ෂාවක් ඇතිවුවහොත් ඇතැම් ප්‍රදේශවල ගං වතුර තත්ත්වයක් හට ගත හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පළුගස්වැව ප්‍රකාශ කළා.

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබදව පැහැදිලි කරන එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ 22 වන දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක්, උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතිනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වාසය කරන ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories