චාල්ස් කුමරුටත් කොරෝනා

Wednesday, 25 March 2020 - 16:21

%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, 71 හැවිරිදි ඔහුගෙන් සුළු කොරෝනා රෝග ලක්ෂණ මේ වනවිට පෙන්නුම් කරන බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.

ඔහුට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර, පසුගිය සති කිහිපයේ ඔහු සමාජ සේවා කටයුතුවල නිරතවද්දී වෛරසය ආසාදනය වී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

කෙසේ වෙතත්, චාල්ස් කුමරුගේ ආර්යාව වන කැමිලා පාකර්ද කොරෝනා පරීක්ෂාවකට ලක්කර ඇති අතර, ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැහැ.

මේ වනවිට ඔවුන් දෙදෙනාම ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝර් මන්දිරයේ වාසය කරන බවයි බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.

චාල්ස් කුමරු මාර්තු 12 වැනිදා අවසන් වරට දෙවන එලිසබත් මහ රැජිණ හමුවී ඇති අතර, කෙසේ වෙතත්, මේ වනවිට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.

මේ වනවිට ලොව පුරා කොරෝනා මරණ 19,625ක් වාර්තා වන අතර, ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 35,006ක්.

ස්පාඤ්ඤයෙන් ගෙවුණු පැය විසි හතරේදී ආසාදිතයින් 738 ක් වාර්තා වීමත් සමඟ චීනය පසුකරමින් කොරෝනා වෛරස මරණ වැඩි වශයෙන් වාර්තා වූ දෙවන රට බවට අද ස්පාඤ්ඤය පත්වුණා.

එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,434 ක් වන අතර, ආසාදිතයින් සංඛ්‍යාව 47,610ක්.

ඉතාලියෙන් කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය 6,820 ක්. ආසාදිතයින් 69,176 ක් ඉතාලියෙන් වාර්තා වනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 802 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 55,225 ක්.

ඉන්දියාව දින 21 කට වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ මධ්‍යම රාත්‍රියේ කටයුතු කළත්, අද දිනයේදී ජනතාව වීථිවලට බැස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ කටයුතුවල නිරත වුණා.

පාකිස්තානයෙන්ද කොරෝනා මරණ 08 ක් වාර්තා වන අතර, දහසකට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන්දියාවෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයින් 562 ක් වාර්තා වන අතර, මියගිය සංඛ්‍යාව 10ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories