General15 April 2017

ගිනිගත් ඩැනියෙලා කොළඹ වරායට

මෙරට මුහුදු සීමාව ආසන්නයේ යාත්‍රා කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වු පැනමා රාජ්‍යයට අයත් එම්.එස්.සී. ඩැනියෙලා නෞකාව කොළඹ වරායේ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තයට අද උදෑසන රැගෙනවිත් තිබෙනවා.

පිළිස්සුණු බහාළුම් ඉවත් කර නැවත ඇසිරීම සඳහා මෙලෙස එම නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මේ වනවිටත් නෞකාවෙන් සුදු පැහැති දුමාරයක් නිකුත් වන අතර, එය නිවීමට පියවර ගෙන ඇති අයුරු අපට නිරීක්ෂණය කළ හැකි වුණා.

පසුගිය 05 වනදා මුහුදු සැතපුම් 120 ක් දුරින් බහාළුම් 14,000 ක් රැගෙන පැනමා ධජය යටතේ සිංගප්පූරුවේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් සිටියදී මෙම නෞකාව ගිනි ගැනීමට ලක්වූ අතර, එම ගින්න පාලනය කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගර නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම කොළඹ වරායේ රාවණා සහ මහවැව යන ටග් යාත්‍රා යොදවනු ලැබුවා.

ඊට අමතරව ඉන්දියාවට අයත් ශූර්, දර්ශක් සහ ගැරියර් නැමති නෞකාද ගින්න නිවීමේ මෙහෙයුමට සහභාගි වුණා.

ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ ඉන්දීය ශූර් නෞකාව සතු චේතක් හෙලිකොප්ටරයද යොදා ගැනුණා.
Related recommendation
Hiru TV News | Programmes