ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප

Wednesday, 05 December 2018 - 16:34

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

අද පෙරවරු 9.30ට පමණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, බන්ධනාගාර බස් රථයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබූ අතර, නඩුව විභාගයට ගන්නා තුරු, ඔහු පැය 4කට අධික කාලයක් බස් රථයේ රඳවා සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  

කෙසේ වෙතත් පස්වරු 1.30ට පමණ නඩුව කැඳවූ අතර, එහිදී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා දැනුම්දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට බාධා කළහොත් එය අවලංගු කරන බවයි.

ඊට අමතරව දෙපාර්තමේන්තුව කැඳවන දිනට පරීක්ෂණවලට සහභාගිවී සහය ලබාදෙන ලෙසටද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කරමින් නියෝග කර තිබෙනවා.

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ලවී තිබුණා.

එමෙන්ම පසුගිය නොවැම්බර් 25 වනදා නාවික හමුදා මූලස්ථානයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ තර්ජනය කර පැහැරගෙන යාමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලීසිය අද අධිකරණයට බී වාර්තාවක් ගොනුකර තිබුණා.

මෙම සිද්ධියටද චෝදනාඑල්ලවුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුලූ පිරිසකටයි.

කෙසේ වෙතත් අදාළ බී වාර්තාව පක්ෂග්‍රාහීව සකස් කර ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එහි සිදුකළ වරදවත් සඳහන් කර නොමැති බව කියා සිටියා.

ඒ අනුව ඊට අදාළ විමර්ශන කොටුව පොලීසියෙන් ඉවත්කර වෙනත් නිලධාරියෙකු යටතට පත් කරන ලෙසයි මහේස්ත්‍රාත් රංග දිසානායක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේ.

මේ අතර චෝදනා එල්ලවී ඇති ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිද මේ මස 19 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories