General06 June 2022

එරෝෆ්ලොට් ගුවන් යානයට ලබාදුන් වාරණ නියෝගය අත්හිටුවෙයි - පියාසැරිය අද සවස (වීඩියෝ)

රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් එයාර් බස් ඒ 330 - 300 ගුවන් යානයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබු වාරණ නියෝගය අත්හිටුවමින් අද තවත් නියෝගයක් නිකුත් කළා.

මෙම නියෝගය වහාම අත් අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් අද කොළඹ වාණිජ මහාධිකරණය ට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියා.

කොළඹ වාණිජ මහාධිකරණය මඟින් අදාළ වාරණ නියෝගය ඉවත් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ එම මෝසම සැලකිල්ලට ගත් අවස්ථාවේදී.

ඒ අනුව පසුගිය දෙවැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමේ අවසරය හිමිවනු ඇති.

මේ හේතුවෙන් දැනට රඳවාගෙන සිටින එරෝෆ්ලෝට් යානය අද (06) සවස මොස්කව් බලා පිටත්ව යනු ඇති.

මේ අතර, රුසියානු ගුවන් යානය රඳවාගැනීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ පිරිසක් මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක නිරතවුණා.

පසුව ඔවුන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය වෙත පා ගමනින් ගියේ, තානාපතිවරයා වෙත සන්දේශයක් භාරදීම සඳහායි.



Related recommendation
Hiru TV News | Programmes