රියදුරු මිතුරාගේ බෝතල් පහරෙන් කොන්දොස්තර මරුට

Tuesday, 24 January 2023 - 19:25

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දීර්ඝ කාලයක සිට මිතුරෙකු ලෙස ඇසුරු කළ රියදුරාගේ බෝතල් ප්‍රහාරයකට ලක්ව එම බස් රථයේම කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් තිබුණේ මොණරාගල සිට කටුනායක බලා ධාවනය වන ශ්‍රී ලංගම බස් රථයේ කොන්දොස්තරවරයායි.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ මොවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් රියදුරා විසින් කොන්දොස්තරවරයාට වීදුරු බෝතලයකින් පහරදී ඇති අතර, එහිදී ඔහුගේ ගෙළට තුවාල සිදුව තිබෙනවා.

තුවාල ලැබූ කොන්දොස්තරවරයා ඒ සම්බන්ධයෙන් කටුනායක පොලීසියට පැමිණ පැමිණිල්ලක්ද සිදුකර මීගමුව මහ රෝහලට ඇතුළත් වී තිබුණා.

කෙසේ වෙතත් අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය කොන්දොස්තරවරයා 38 හැවිරිදි වියේ පසුවන අතර, 40 හැවිරිදි සැකකාර රියදුරා පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් මොණරාගල - මාගන්දරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, දීර්ඝ කාලයක සිට මිතුරන් ලෙස ඇසුරු කර එක්ව සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු වීමද විශේෂත්වයක්.

මේ අතර, මහනුවර - ගුරුදෙණිය මාලිගාවත්ත ප්‍රදේශයේ අසල්වැසි පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින්ද 75 හැවිරිදි අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා විසින් මියගිය පුද්ගලයාගේ ඉඩමට හිස් කිරි හට්ටියක් දමා ඇති අතර එවැනි දේ නොකරන ලෙසට අවවාද කිරීමේ ඇතිවූ බහින් බස්වීමක් ගැටුමට මුල්වී තිබුණා.

මේ අතර, දිවුලපිටිය - හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් 6 දෙනෙකු කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී අද දහවල් තුවාල ලැබුවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිද්ධියෙන් පසුව අදාළ ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබුණා.

එමෙන්ම, අනුරාධපුර - පරසන්ගස්වැව ප්‍රදේශයේදී බස් රථයකින් බිමට බැසීමේදී ඉන් ඇද වැටී එම බස් රථයේම පසුපස රෝදයට යටවී හය හැවිරිදි පාසල් දැරියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories