බූරු මූණාගෙන් පාපොච්චාරණයක් - ප්‍රශ්න කිරීම් හමුවේ හඬා වැටේ

Saturday, 18 March 2023 - 13:46

%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%96%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%AC%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී යළි අත්අඩංගුවට ගත් පාතාල වෙඩික්කරුවෙකු වන රවිදු වර්ණ රංගන හෙවත් බූරු මූණා පොලිසිය හමුවේ කරුණු රැසක් හෙළිකර තිබෙනවා.

සැකකරු අවිස්සාවේල්ල පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

එහිදී ඔහු විසින් විමර්ශන නිලධාරීන්ට සඳහන් කර ඇත්තේ තමන්ට ඝාතන චෝදනා 9 ක් පැවතියද තමන් සිදුකළේ ඉන් දෙකක් පමණක් බවයි. එමෙන්ම පොලිසිය හමුවේ ඔහු හඬා වැටී ඇති බවද වාර්තාවුණා.

පොඩි ලැසීගේ පාර්ශවයෙන් සිය මවට සහ පියාට මරණ තර්ජන එල්ලවී තිබූ බවත්, ඊට පලිගැනීමක් ලෙස තමා පාතාලය සමඟ එක්වී කටයුතු කළ බවද සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා. එමෙන්ම හංවැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරු ඝාතනය තමා විසින් සිදුකළ බවට සැකකරු පිළිගෙන තිබුණා.

විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය කාලයේ රත්ගම ප්‍රදේශයේ සහ අවිස්සාවේල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වල ප්‍රධාන වෙඩික්කරු ලෙස මොහු ක්‍රියාකර ඇති බවයි. සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමේදී ද සැකකරු පැහැදිළිවම හඳුනාගැනීමට හැකිවූ බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් හෙළිවී ඇත්තේ බූරු මූණා යනුවෙන් පවසමින් තමන්ට පාසල් කාලයේදී උසුලු විසුළු කළ සිසුවෙකුද ඝාතනය කිරීමටද තමන් කටයුතු කළ බවයි.

එමෙන්ම ලී ඉරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සිය පියාට හිරිහැර කළ පුද්ගලයින් හතරදෙනෙකු චේන්ෂෝ උපකරණයකින් කපා බරපතල තුවාල කිරීමටද තමන් කටයුතු කළ බවයි සැකකරු පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම සැකකරු නාවික හමුදාවේ සිට සේවය හැර ගිය සෙබළෙකු බවටද අනාවරණ වී තිබෙනවා. රත්ගම, හික්කඩුව වැනි පොලිස් ස්ථානවල සැකකරුට එරෙහිව නඩු පවතින බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ කරගැනීමට සමත්ව ඇති අතර, සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බවයි විමර්ශන සිදුකරන එම උසස් නිලධාරියා සඳහන් කළේ.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී පළාගිය රවිදු වර්ණ රංගන හෙවත් බූරු මූණා පොලිසිය ඊයේ යළි අත්අඩංගුවට ගනු ලැබුවේ, අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙන අතරතුර අධිකරණ භූමියට ප්‍රවේශවන ස්ථානයේ ඇති පොලිස් මුරපොළ අසළ දීයි.

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු මොහු වන අතර ඩුබායිහි සිටින සංවිධානානත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නැමැත්තා මෙහෙයවූ අපරාධ රැසකට මොහු සම්බන්ධ බවටයි පොලිසිය සැක පළකරන්නේ.

මීට පෙර බූරු මූණාට පොලිසියෙන් මුදාගෙන රැගෙන යාමේ චෝදනාවට සැකපිට හිමිවරුන් දෙනමක් ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

එමෙන්ම ලලිත් කන්නන්ගර සහ රත්ගම විදුර නැමැත්තාගේ වෙඩික්කරුවෙකු ලෙස මොහු කටයුතු කර ඇති අතර, මත්ද්‍රව්‍ය සහ කප්පම් ගැනීම් චෝදනාද ඔහුට එරෙහිව පවතින බවටයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories