රුසියානු යුද බිමෙන් බේරි ආ තරුණයාගේ හදවත කම්පිත හෙළිදරව්ව (වීඩියෝ)

Wednesday, 15 May 2024 - 20:18

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%86+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇවිළ යන රුසියානු යුද අර්බුදයට මැදිව ජීවිත අහිමි වූ, ආබාධිත තත්ත්වයට පත් වූ සහ විවිධ පීඩාවන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් රැසක් සිටින අතර එම බිහිසුණු අත්දැකීමට මුහුණ දී පැමිණි ලාංකිකයෙක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

කුරුණෑගල කුඹුක්ගැටේ කෝම්බුවේ පදිංචිව සිටි ආර්.එම්.එරන්ද චින්තක තිලකරත්න නම් මෙම තරුණයා ගොවිපොළක රැකියාවක් සඳහා රුසියාවට ගොස් තිබුණේ පසුගියවසරේ ජනවාරි මස 18 වැනිදායි.

එම රැකියාවේ මාස 8ක පමණ කාලයක් නිරත වූ එරන්ද, එහි තිබූ කටුක බව නිසාම වෙනත් රැකියාවක් සොයමින් සිටියා.

මිත්‍රයෙකු මාර්ගයෙන් ලැබුණු තොරතුරකට අනුව, මේ වසරේ ජනවාරි මස 10 වැනිදා එරන්ද රුසියානු හමුදාවට බැඳුණේ ඒ අනුවයි.

දින 12ක අවි පුහුණුවකින් පසු එරන්ද ඉදිරි ආරක්ෂක වළල්ලට යොමු කර තිබුණා.

එරන්ද පිළිබඳව මාස කිහිපයකින් කිසිදු තොරතුරක් නොමැති නිසා ඔහුගේ බිරිඳ වූ ආර්.බී.දිලානි නිලංකා අබේරත්න දැඩි කම්පනයට පත්ව සිටියා.

රුසියානු හමුදාවේ සේවය කරමින් සිටි එරන්දට යුක්‍රේන ප්‍රහාරයකින් තුවාල සිදු වුණේ ඔහු රුසියානු හමුදාවට එක් වී මාස 4යි දින 20කට පසුවයි.

ඒ වනවිටත් එරන්ද පිළිබඳ තොරතුරක් නොමැති සොවින් සිටි එරන්දගේ බිරිඳ මෙලොව හැරගොස් තිබුණා.

ඒ, මේ වසරේ මාර්තු මස 29 වැනිදායි.

නහරයක් පුපුරා යාමෙන් එරන්දගේ බිරිඳ මියගොස් තිබූ අතර, ඇගේ අවසන් කටයුතු අප්‍රේල් මස 01 වැනිදා සිදු කෙරුණේ, එරන්දගේ සිව් හැවිරිදි පුතු මිත්තණියගේ ඇකයේ තනි කරමින්.

මේ අතර, තුවාල ලැබූ එරන්ද රෝහල් කිහිපයකටම මාරු කර යැවූණු අතර, රුස්තව් හි රෝහලට යැවූ දින කෙසේ හෝ ඉන් මිදී ලංකාවට එන බව
එරන්ද තීරණය කර තිබුණා.

මිත්‍රයින්ගේද උදව් ඇතිව මේ වසරේ මැයි මස 09 වැනිදා එරන්ද ලංකාවට පැමිණියා.

මේ අතර රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ආරක්ෂඛ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

කෙසේ වෙතත්, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙන්වා දෙන්නේ, නිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කළහොත් රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගත හැකි බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories