General20 February 2025

සංජීව ඝාතනයේ සැකකරුගේ නම 'ෂෙරිෆ්ඩීන්' කියා බොරු කියලා.. ඇත්ත ෂෙරිෆ්ඩීන්ගේ ඥාතීන්ගෙන් මෝසමක්

පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) දින අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සොහොදරයකු විසින් මෙම මෝසම ගොනු කළා.

මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා කියා සිටියේ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවයි.

මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව පුද්ගලයින් දෙදෙනකු බවයි.

මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුව තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් නීතිඥවරුන්ට දන්වා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes