General02 March 2025

ඇට සැකිළි කොටස් හමු වූ චෙම්මනි, කැණීම් ඇරඹෙයි

යාපනයේ, චෙම්මනි ප්‍රදේශයෙන් මිනිස් ඇට සැකිළි කොටස් හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු අධිකරණ නියෝග මත ඊයේ (01) දා ආරම්භ කොට තිබෙනවා.

එම කැණීමේදී මිනිස් ඇට සැකිළි කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට හමු වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

1995 වසරේ දී මිනිස් ඇට සැකිළි හමුවී ප්‍රසිද්ධ වූ චෙම්මනි සමූහ මිනී වළ අසලින්ම මෙම මිනිස් ඇට සැකිලිද හමු වීම විශේෂයි.

චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ ආදාහනාගාරයක් ඉදිකිරීම පිණිස අත්තිවාරමක් කැපීමට ගිය අවස්ථාවේදී පොලොව යට තිබී මිනිස් ඇට සැකිලි කොටස් ගණනාවක් හමු වී තිබුණා.

පොලීසිය විසින් මේ පිළිබදව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම ස්ථානය පරීක්ෂා කොට බලා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කොට ඒ පිළිබදව වාර්තාවක් මේ මස 4 වෙනිදාට යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව කැණීම් කටයුතු ආරම්භ කොට ඇති අතර කැණීම් සිදුවන්නේ අධිකරණයෙන් පත් කළ නියෝජිතයෙකු යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා පොලිස් නිලධාරීන් හා තවත් නිලධාරීන් රැසකගේ අධීක්ෂණය යටතේයි.

මෙම වෙම්මනි සමුහ මිනී වළ ආසන්නයේම සුසාන භූමියක් අති අතර එම සුසාන භූමියට අලුතින් ආදාහනාගාරයක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී මෙම මිනිස් ඇට සැකිළි හමු වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මේ හේතුව නිසා ආදාහනාගාරය ඉදිකිරීමේ කටයුතු නතර කළ නල්ලූර් ප්‍රාදේශීය සභාව මේ පිළිබඳව කෝපායි පොලිසියට දැනුම් දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes