General22 June 2026

මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙයට මාස කිහිපයකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකර ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලද මෙම සිසුවා විශ්ව විද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත විශ්ව විද්‍යාලිය විනය පාලක අංශය නේවාසිකාගාරයේ ඔහු සිටි කාමරය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණා.

මත්ද්‍රව්‍ය කිරා වෙන්කිරීමට භාවිත කරන ඩිජිටල් තරාදියක් හා රුපියල් 75000ක මුදලක් ද සිසුවා සන්තකයේ තිබී විනය පාලක අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිය දී විශ්වවිද්‍යාලය මගින්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.

විශ්වවිද්‍යාලය මගින් සිදුකළ එම පරීක්ෂණ වාර්තාවට අනුව සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණය වී තිබෙන අතර උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගේ නිර්දේශ මත ඊට අදාළ ලිපිය සිසුවා වෙත බාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes