International22 June 2026

ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාගර් ගලිබාෆ් අතර දැඩි අනතුරු ඇඟවීම් හුවමාරු වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

ඒ, යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට මූලික එකඟතාවකට පැමිණීමෙන් පසු ස්විට්සර්ලන්තයේ පැවති පළමු සෘජු සාකච්ඡා වටයේදීයි.

ඒ අනුව ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ ලෙබනනයේ ඊශ්‍රායල හමුදා සමඟ ගැටෙන හිස්බුල්ලා සංවිධානය පාලනය කිරීමට ඉරානය අපොහොසත් වුවහොත්, ඉරානයට යළි ප්‍රහාර එල්ල කරන බවටයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ලෙබනනය තුළ ගැටලු ඇති කරන ටෙහෙරානය විසින් අධික ලෙස මුදල් ගෙවන ලද ප්‍රොක්සි කණ්ඩායම් වහාම නැවැත්විය යුතු බවත්, එසේ නොකරන්නේ නම්, පසුගිය සතියේ සිදුකළ ආකාරයටත් වඩා දරුණු ලෙස යළි ඉරානයට ප්‍රහාර එල්ල කරන බවටයි.

කෙසේ වෙතත් මෙම තර්ජන ප්‍රතික්ෂේප කළ ගලිබාෆ්, ඕනෑම ගැටුමකට මුහුණ දීමට ඉරාන සන්නද්ධ හමුදා සූදානම් බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකානු තර්ජනවලින් යම් බලපෑමක් තිබුණා නම්, ඔවුන් මෙවැනි අසරණ තත්ත්වයක නොසිටිනු ඇති බවට ද ටුම්ප්ගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාගර් ගලිබාෆ් ප්‍රකාශ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes