General22 June 2026

කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පෙරහැරට රැගෙනවිත් සිටියදී කුලප්පු වී ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා පාගා මරා දැමූ ඇබිලිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත්අ ලියා, නිර්වින්දනය කර ආරක්ෂිතව අල්ලා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා.

ඇත්ගොව්වාට සහ සහයකයාට පහරදීමෙන් අනතුරුව අලියා විහාරස්ථානය අසල පිහිටි කුඹුරු යායකට පැන ගොස් රැඳී සිටින අතර, වනජීවී නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ළඟා වී අලියා පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ 78 වන පොසොන් පෙරහැර (මිහිඳු පෙරහැර) සඳහා පසුගිය 20 වන සෙනසුරාදා මෙම අලියාව රැගෙනවිත් තිබුණා.

පෙරහැර අවසන් වීමෙන් පසු විහාරස්ථානය අසල බැඳ සිටි අලි දෙදෙනාගෙන් මෙම අලියාට දිය නෑවීම සහ ජලය ලබා දීම සඳහා ඇත්ගොව්වාගේ සහයකයා (ගෝලයා) විසින් අද (22) උදෑසන රක්වාන ගඟට රැගෙන ගිය අවස්ථාවේදී අලියා එකවරම කුලප්පු වී ඔහුව පාගා මරා දමා තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හස්තිපාලක ලෙස කටයුතු කළ සුනිල් ශාන්ත (කලු) සහ සහාය හස්තිපාලක ලෙස කටයුතු කළ ප්‍රවීන් මධුශාන් යන අයයි.

සහයකයාගේ කෑගැසීමට ඇත්ගොව්වාද වහා එම ස්ථානයට දිව‍ ගොස් ඇති අතර, එහිදී කුලප්පු වී සිටි අලියා ඇත්ගොව්වාටද පහර දී තිබෙනවා. මෙම පහරදීමෙන් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් අනතුරුව අලියා අසල කුඹුරු යායට වැදී සිටින අතර, ප්‍රදේශයේ තත්ත්වය පාලනය කරමින් අලියාගෙන් තවදුරටත් හානියක් නොවීමට වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටියි.

අලියා නිර්වින්දනය කර මෙල්ල කර ගැනීමට වනජීවී නිලධාරීන් උපරිම උත්සාහයක් දරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes