General22 June 2026

බිනෝයි අත්අඩංගුවට ගැනීමට එරෙහිව 'රට Next' සංවිධානයෙන් විරෝධය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වන සුගීශ්වර බණ්ඩාර කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුර, එහි සිටි බිනෝයි හෙට්ටිආරච්චිව ද කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට එරෙහිව 'රට Next' සංවිධානය සිය බලවත් විරෝධය පළ කර සිටිනවා.

'රට Next' සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ජූනි 18 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණ නියෝගයක් මත සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත් බවත් කෙසේ වෙතත්, එම අවස්ථාවේ ඔහු සමඟ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකු වන බිනෝයි හෙට්ටිආරච්චි ද නාරාහේන්පිට ප්‍රදේශයට රැගෙන ගොස් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

බිනෝයි හෙට්ටිආරච්චි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කටයුතු මෙහෙයවන්නෙකු වන බැවින්, මෙම ක්‍රියාමාර්ගය දේශපාලන පළිගැනීමක් ද යන්න පිළිබඳව සමාජය තුළ සාධාරණ සැකයක් මතු වී ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය මඟින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් මෙම ක්‍රියාවලිය තුළ උල්ලංඝනය වී ඇත්දැයි ගැටලුවක් පවතින බව ද ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් 'රට Next' සංවිධානය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව වහාම ස්වාධීන හා අපක්ෂපාති පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes