General23 June 2026

අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්

කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගත්තැතයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් පරීක්ෂකවරයා ලබන ජූලි මස 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (23) නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව, කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරී සිදු කළ උදය කුමාර නමැති පොලිස් පරීක්ෂකවරයෙක්.

අල්ලස් කොමිසම වෙත ව්‍යාපාරිකයකු විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ඊයේ (22) රාත්‍රියේ මෙම වැටලීම සිදු කර තිබුණා.

පැමිණිලිකරුට අයත් වාහනයක් සම්බන්ධයෙන් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් පවත්වා ඇති අතර, එම වාහනයට එරෙහිව අධිකරණය හමුවේ අපරාධමය චෝදනා ගොනු නොකර, සාමාන්‍ය පරිදි කරුණු වාර්තා කර වාහනය නැවත අයිතිකරුට ලබා දීමට කටයුතු කිරීම සඳහා සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් ලක්ෂ 11ක මුදලක් ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

එම එකඟ වූ මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ඉකුත් 30 වැනිදා අල්ලස් වශයෙන් ලබාගෙන ඇති අතර, එහි ඉතිරි මුදල වූ රුපියල් ලක්‍ෂ 10ක මුදල ඊයේ (22) රාත්‍රියේ කළුතර හෝටලයක් තුළදී ලබා ගනිමින් සිටියදී, එහි රැක සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුව මුදල ද සමඟ අත්අඩංගුවට ගත් බවයි එම කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes