General23 June 2026

වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී

"වී මිල පහත හෙළනු එපා!", "වී ගබඩා වහා විවෘත කරනු!" සහ "වී සඳහා සහතික මිලක් ලබා දෙනු!"යන ඉල්ලීම් මුල් කරගනිමින් ගොවි ජාතික සමුළුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (23) පෙරවරුවේ තිරප්පනේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා.

මෙම විරෝධතාව සඳහා ගොවි ජාතික සමුළුවේ තිරප්පනේ ගොවිජන කේන්ද්‍ර සභාව නියෝජනය කරමින් ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියා.

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ ගොවීහු, අනතුරුව තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය හමුවී සංදේශයක් බාර දුන්නා.

තිරප්පනේ ගොවීන්ට බලපා ඇති වී අලෙවි කර ගැනීමේ ගැටලුව සහ රජයේ වී ගබඩාවක් නොමැතිකම පිළිබඳව එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළා.

සංදේශය භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ, ඉදිරියේදී ගොවීන්ට වී අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය ගබඩාවක් වී අලෙවි මණ්ඩලය සමඟ සාකච්ඡා කර විවෘත කිරීමට කටයුතු සූදානම් කර දෙන බවයි.

එහිදී ගොවි නියෝජිතයන් මෙලෙස අදහස් දැක්වුවා.

විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවි ජාතික සමුළුවේ විධායක කමිටු සාමාජික සංජීව බණ්ඩාර සහ ගොවිජාතික සමුළුවේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික රුවන් මධුරංග යන මහත්වරුන් මෙසේ පවසා සිටියා.

"ප්‍රදේශයේ ගොවීන්ට තමන්ගේ අස්වනු අලෙවි කර ගැනීමට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම වී මිලදී ගැනීමට රජයේ වී ගබඩාවක් නොමැතිකම නිසා අද ගොවියෝ බරපතළ ගැටලුවලට මුහුණ දීලා ඉන්නවා. මේවට රජය වහාම මැදිහත් වෙන්න ඕනේ."

අස්වනු නෙළන කාලසීමාවේදී තැරැව්කරුවන් අතට පත් නොවී, තමන්ට සාධාරණ සහතික මිලක් සහ වී ගබඩා කිරීමේ පහසුකම් කඩිනමින් සලසා දෙන ලෙස ගොවීහු මෙහිදී ආණ්ඩුවට දැඩිලෙස බලකර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes