General14 July 2026

"කටුවැල්ලේගම සුරේෂ්" ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීමෙන් මීගමු බන්ධනාගාර ගැටුම ඇවිළිලා - CIDය අධිකරණයට කියයි

මීගමු බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීම සඳහා කාලය ප්‍රමාණවත් නැති බව කියමින් "කටුවැල්ලේගම සුරේෂ්" නමැත්තා බන්ධනාගාර නිලධාරියකුට මරණ තර්ජනය කර කලහාකාරීව හැසිරීමත් සමඟම බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් සිලනි පෙරේරා හමුවේ අද (14) කරුණු වාර්තා කර තිබුණා.

මෙම ගැටුම ඉකුත් 05 වැනිදා සහ 06 වැනිදා සිදුවූ අතර ඉන් 31 දෙනකු ජීවිතක්ෂයට පත් වු අතර ඉන් 10 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන්.

මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 136 දෙනකුගෙන්, රැඳවියන් 141 දෙනකුගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 09 දෙනකුගෙන් මෙම සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සිද්ධිය පාලනය කිරීම සඳහා බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනකු කොළඹින් මීගමුවට ඇවිත් ඇති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධියට අදාල වැඩිදුර විභාගය ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes