General26 July 2026

රටේ ආයු අපේක්ෂාව ඉහළ ගිහින්.. විනිසුරු සේවා කාලය දීර්ඝ කරන්න ඒකත් හේතුවක් - ඇමති නලින්ද

අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ගොඩගැසීම පාලනය කර ජනතාවට කඩිනම් සහනයක් සැලසීම වෙනුවෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණවල නඩු ගොඩගැසීම හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාවෙන් ඔවුන් මුදා ගන්නා බවට රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව ඉටු කිරීම සඳහා අධිකරණ පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවතින සාධාරණ හේතු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා.

"1978 වසරේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරන විට මෙරට උපතේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 66-67ක් පමණ වුණා. නමුත් අද වන විට සෞඛ්‍ය පහසුකම් දියුණු වීමත් සමඟ එය අවුරුදු 76-78 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ වගේම පසුගිය කාලයේ වෘත්තිකයන් රට හැර යාම නිසා ක්ෂේත්‍රයේ යම් පුරප්පාඩු ප්‍රමාණයක් ද පවතිනවා. මේ කරුණු සලකා බලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම කෙරෙහි රජය සාධාරණ ලෙස ඇහුම්කන් දී තිබෙනවා."

මීට පෙර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවුවද, ඊට සාපේක්ෂව විශ්‍රාම වයස ඉහළ නැංවීමක් සිදු නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පියවර හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද පවසා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes