General05 August 2026

ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පසුගිය දින කිහිපය තුළ සිදු වූ පාතාල ගැටුම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් පත්කර තිබෙනවා.

එසේම රත්මලාන ප්‍රදේශයේ දෙමහල් නිවසකට අද (05) උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයද සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ නිවසේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දැනට විදේශගත රසල් ඇලෝසියස් ස්මිත් නමැත්තාගේ ළඟම ඥාතියෙකු බවටයි වාර්තා වන්නේ.

අත්බෝම්බ දෙකක් මෙහිදී එල්ල වී තිබූ අතර ඉන් එකක් පුපුරා ගොස් අනෙක් අත්බෝම්බය පහළ මහලට වැටී තිබෙනවා.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර නිවෙසේ පහළ මහලේ ජනේලයක වීදුරු බිඳීගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ඇල්ටෝ ධර්මේ, කුඩු අංජු නමැත්තා සහ රසල් ස්මිත් අතර කලක පටන් ගැටුමක් පවතින අතර මෙම අත්බෝම්බ ප්‍රහාරයට එහි සබඳතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම දෙහිවල, කඩවත පාර දහනායක ක්‍රීඩාංගණය අසල පිහිටි බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කරමින් ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සැන්ඩෝ නමැත්තාගේ පාර්ශවයෙන් සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

වෙඩි තැබීමේ උත්සහය ව්‍යර්ථ වුවත් එහි ඉලක්කය වූ බවට විශ්වාස කෙරෙන බේකරි හිමිකරුගේ පුත්‍රයා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නමැත්තාගේ ගෝලයෙකු බව වාර්තා වනවා.

ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ බෙදාහැරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි පොලිසිය කියා සිටියේ.

මේ අතර පසුගිය දින කිහිපය තුළදී දෙහිවල, බොරලැස්ගමුව සහ ගල්කිස්ස යන ප්‍රදේශවල වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වුණා.
Related recommendation
Hiru TV News | Programmes