General09 August 2026

ඊශ්‍රායල් අවන්හල් සහ ප්‍රතිසංස්කරණ රැකියා සඳහා වෙබ් ද්වාරය හෙට විවෘත වෙයි

ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් සහ ප්‍රතිසංස්කරණ යන රැකියා ක්ෂේත්‍ර සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය හෙට (10) විවෘත කිරීමට නියමිත බව එම කාර්යාංශය පවසනවා.

www(dot)slbfe(dot)lk යන කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට මෙම රැකියා සඳහා අයදුම්කිරීමේ අවස්ථාව හිමිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව, අවන්හල් ක්ෂේත්‍රය සඳහා අයදුම්කරුවන් 4,000ක් ලියාපදිංචි කිරීම වෙනුවෙන් හෙට දින (10) පස්වරු 12.00 ට මෙම වෙබ් ද්වාරය විවෘත කෙරෙන බවයි සඳහන් වන්නේ.
වයස අවුරුදු 25ත් 40ත් අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, අවම වශයෙන් ආපනශාලා මුළුතැන්ගෙහි වසරක සේවා පළපුරුද්දක්, වසර 8ක පාසල් අධ්‍යාපනයක් සහ මනා ඉංග්‍රීසි දැනුමක් තිබීම අනිවාර්ය බවයි එම කාර්යාංශය සඳහන් කරන්‍නේ.

මීට අමතරව, මීට ඉහත ඊශ්‍රායලයේ සේවය කර නොමැති සහ දෙමාපියන්, බිරිඳ හෝ දරුවන් ඊශ්‍රායලයේ සේවය නොකරන පුද්ගලයින්ට පමණක් මේ සඳහා අවස්ථාව හිමිවන බවයි එම කාර්යාංශය සඳහන් වන්නේ.

ශාරීරික හා මානසික නිරෝගීභාවයෙන් යුතුව, බර ඉසිලීම, දිගු වේලාවක් සිටගෙන වැඩකිරීම සහ උපකරණ අතින් සේදීම වැනි කාර්යයන් කළ හැකි විය යුතුය.

ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්‍රය යටතේ පොටි ඇඳීම හා ජිප්සම් බෝඩ් වැඩ, විදුලි පෙට්ටි සවිකිරීම හා බ්ලොක්ගල් බිත්ති බැඳීම, කපරාරු වැඩ, සහ සෙරමික් ටයිල් වැඩ යන ක්ෂේත්‍ර 4 සඳහා එක් ක්ෂේත්‍රයකට අයදුම්කරුවන් 3,000ක් බැගින් මුළු ශ්‍රමිකයින් 12,000ක් ලියාපදිංචි කිරීමට නියමිත බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

එම වෙබ් ද්වාරය හෙට (10) පස්වරු 2.00 ට විවෘත වන බවයි සඳහන් වන්නේ.

මෙම ක්ෂේත්‍රය සඳහා වයස අවුරුදු 25ත් 45ත් අතර, වසර 10ක පාසල් අධ්‍යාපනයක් සහ මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ඇති, මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති සහ පවුලේ සාමාජිකයන් එරට නොමැති පුද්ගලයින්ට අයදුම් කළ හැකි බවයි සඳහන් වන්නේ.

මීට පෙර ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අයදුම් කර අවසන් පරීක්ෂණයෙන් අසමත් වූවන්ට යළි අයදුම්කිරීමට නොහැකි වුවද, ඊශ්‍රායලයේ වෙනත් ක්ෂේත්‍රවල රැකියා සඳහා අයදුම් කළ පුද්ගලයින්ට මෙම කාණ්ඩ 4 සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි එම කාර්යාංශය පවසන්නේ.

මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීමේදී පළපුරුද්ද පරික්ෂා කරනු ලබන්නේ සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයින් විසින් වන බැවින්, තමන්ට මනා වෘත්තීය හැකියාව සහ නිසි සුදුසුකම් ඇති ක්ෂේත්‍රය සඳහා පමණක් අයැදුම් කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.
Related recommendation
Hiru TV News | Programmes