International30 August 2026

නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්

නේපාල - ටිබෙට් දේශසීමා කලාපයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය නිසා තවත් 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිදුවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 675 දක්වා ඉහළ ගොස් ඇති බවද නේපාල බලධාරීන් පවසනවා.

භොටේකොෂි සහ ත්‍රිශූලී ගංගා පද්ධති ඔස්සේ ගලා ආ මෙම සැඩ පහරට ගම්මාන, මාර්ග, පාලම් සහ ජල විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

නේපාලයේ දිස්ත්‍රික්ක 8කින් මෘත ශරීර සොයාගෙන ඇති අතර, සොයාගත් මළ සිරුරු අතරින් වැඩි ප්‍රමාණයක් චිටවාන්, නාවල්පරාසි සහ ගෝර්කා යන ප්‍රදේශවලින් බව සඳහන්.

අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් සහ ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කළ සේවකයින් විශාල පිරිසක්ද සිටින බව වාර්තා වනවා.

නේපාල ආරක්ෂක හමුදා සහ සහන කණ්ඩායම් එක්ව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් පීඩාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින අතර, අහිතකර කාලගුණය සහ මාර්ග අවහිරතා හේතුවෙන් මුදාගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes