General31 August 2026

හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට

හොරණ ප්‍රදේශ රැසක මහා මාර්ගයේ ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ සිදුවීම් මාලාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු හොරණ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතරට මෙම අපරාධ සඳහා අනුබල දුන් එක් සැකකරුවෙකුගේ මව සහ අනෙක් සැකකරුගේ නැන්දණිය ද ඇතුළත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නාර්තුපාන සහ බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 35 පසුවන මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 25 වැනිදා සිට සතියක් වැනි කෙටි කාලයක් තුළ යතුරුපැදියකින් පැමිණ ස්ථාන හතරකදී මංකොල්ලකෑම් සිදුකර තිබෙනවා.

CCTV දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලිසිය මගින් සැකකරුවන් කොටුකරගෙන තිබෙනවා.

පොලිස් වැටලීම අවස්ථාවේදී එක් සැකකරුවෙකු විසින් මංකොල්ලකන ලද රන්මාලයක් ගිලදමා ඇති අතර, පසුව සිදුකළ X-Ray පරීක්ෂාවකින් ඒ බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුව හොරණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර රෝහල්ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කොල්ලකෑම් සඳහා භාවිතා කළ යතුරුපැදිය, සොරකම් කරන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදි දෙකක් සහ උකස් කිරීමට රැගෙන යමින් තිබූ හා උකස් කර තිබූ රන් භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes