General09 September 2026

තායිලන්ත වීසා පහසුකම ගැන විදේශ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

තායිලන්තයට ඇතුළුවීමේදී මීට පෙර හිමිව තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලාංකිකයින් එරටට ඇතුළු වී නීති විරෝධී ක්‍රියා සිදුකිරීම බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

තායිලන්තයේ මෙම තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තායිලන්ත රජය සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන බවයි.

මෙරට විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙතෙක් තායිලන්තයට ඇතුළුවීම සඳහා හිමිව තිබූ වීසා රහිත පහසුකම මේ මස 15 වැනිදා සිට අත්හිටුවීමට තායිලන්ත බලධාරීන් පසුගියදා පියවර ගත්තා.

එරට සංක්‍රමණික සහ කෙටි කාලීන සංචාරක නීති පද්ධතියේ සිදු කෙරුණු පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙම සංශෝධනය ක්‍රියාත්මක වන අතර, ඒ අනුව ලබන 15 වැනිදා හෝ ඊට පසුව තායිලන්තයට ගමන් ගන්නා සියලුම ශ්‍රී ලාංකිකයන් ගමන ආරම්භ කිරීමට පෙර නිසි වීසා බලපත්‍රයක් ලබාගෙන තිබීම අනිවාර්ය වනවා.

තායිලන්ත රජය කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය නගාසිටුවීම අරමුණු කරගනිමින් 2024 වසරේ ජූලි මාසයේදී විශේෂ කෙටි කාලීන වීසා සහනයක් හඳුන්වා දී තිබුණා.

ඒ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයන්ට දින 60ක කාලයක් දක්වා වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි වුණා.
Related recommendation
Hiru TV News | Programmes