General09 September 2026

ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත් සිං පිළිගැනීමේ උත්සවයක් ඊයේ (08) පස්වරුවේ කොළඹදී පැවති අතර, එහිදී ඔහු කියා සිටියේ ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවයි.

ඒ අනුව, ඔහු අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතයි.

එමෙන්ම, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට එක්වීමට නියමිත අතර, හෙට නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික කටයුත්තකට ද එක්වනු ඇති.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද අවබෝධතා ගිවිසුම් තුනක් හුවමාරු කරගැනීමට නියමිත බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් අද ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය, නිදහස් වටරවුම, බත්තරමුල්ල සහ කොළඹ අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සංචාරයේදී ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2025 වසරේ මෙරට සිදු කළ සංචාරයේදී අත්සන් තබන ලද ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම පූර්ණ ලෙස සහ නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වනු ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes