NEW UPDATE : එජාප පාක්ෂිකයින්ට වෙඩි තැබූ මෛත්‍රී ගුණරත්නගේ පියා අත්අඩංගුවට.

Saturday, 05 October 2013 - 10:23

NEW+UPDATE+%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙවිනුවර විෂ්ණු දේවාලය අසලින් අද (05) ආරම්භ වූ පාගමනට එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය පළ කිරීමත් සමඟ මාතර නගරයේදී සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ වනවිටත් ඔහු ගැටුමෙන් තුවාල ලබා සිටියා. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද සිද්ධිය පිළිබඳ විමසීමට මාතර පොලිසිය වෙත ගොස් සිටිනු දක්නට ලැබුණා.

මේ අතර, අද (05) කඹුරුගමුවෙන් පාගමන නිමාවට පත් කෙරුණු අතර, පාගමනට ආයුධ රැගත් පිරිස් ද එක්ව සිටි බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මාතර අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එමෙන්ම, මහරාජා නැමැති ව්‍යාපාරිකයා මෙම පාගමනට කෝටි ගණන් වැය කර පිරිස් ගෙන්වා ගැනීමට පසුගිය දිනවල උත්සාහ කළද එයට සහභාගී වී සිටියේ සුළු පිරිසක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් පාගමන අවසානයේ පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න රැස්ව සිටි පිරිස අමතමින් තම පාගමන වැළැක්වීමට ප්‍රහාරය එල්ල කළ පිරිස දැඩි උත්සාහයක නිරත වූ බව සඳහන් කළා.

මේ අතර, මෙවැනි සිද්ධීන් පිටුපස ක්‍රියාත්මක වන බලවේග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අද (05) පැවති මාධ්‍ය හමුවේදී තොරතුරු හෙළි කළා. මහරාජා නැමැති ව්‍යාපාරිකයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය හෝ නොමැති මෛත්‍රී ගුණරත්නත් පිල් මාරු කිරීම පුරුද්දක් කරගත් ශිරාල් ලක්තිලකත් මෙම සිද්ධීන් පිටුපස සිටින බවයි මන්ත්‍රීවරයා හෙළි කළේ. සෑම මැතිවරණයක් සමයකදීම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්නේ මෙම පිරිස බවද මංගල සමරවීර මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් සඳහන් කළා.
 
මේ අතර, මෙම පාගමන විසුරුවා හරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (05) පොලිසියට නියෝග කළා. ඒ, පාගමන අතරතුර සිදුවු මහජන සාමය කඩවීම් පිළිබඳ පොලිසිය අධිකරණයට වාර්තා කළ කරුණු සැලකිල්ලට ගෙනයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පස්වරු 7:10

------------------------------------------------------------------------------------------

පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා අත්අඩංගුවට.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙවිනුවරින් ආරම්භ කළ පාගමනේදී එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය පළ කිරීමත් සමඟ ඇති වූ ගැටුම්කාරි තත්වයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පළාත් සභා මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි. මීට අමතරව තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරිය ඩිල්කා සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පස්වරු 2:37

------------------------------------------------------------------------------------------

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර වෙඩි වැදී රෝහල් ගත කෙරේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පෙරවරු 1:34

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙවිනුවර විශ්ණු දේවාලය අසලින් අද උදෑසන ආරම්භ වූ පාගමනට එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය පළ කිරීමත් සමඟ ඇති වූ ගැටුමේදී වෙඩි වැදුණු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කරාපිටිය රෝහල සඳහන් කළේ ඔහුගේ එක් පාදයකට වෙඩි වැදී ඇති බවයි. ඊට අමතරව ගැටුම්කාරි තත්ත්වයෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු ද තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඉන් 3 දෙනෙකු වෙඩි වැදීම් නිසා ඇති වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ. පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහි පාගමනට විරෝධය පළ කළ දේශපාලඥයෙක්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පස්වරු 1:34

------------------------------------------------------------------------------------------

රනිල් වික්‍රමසිංහට එරෙහි පාගමන පොලිසිය මාතරින් නවතයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙවිනුවර විශ්ණු දේවාලය අසලින් අද (05) උදෑසන ආරම්භ වූ පාගමනට එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය පළ කිරීමත් සමඟ ඇති වූ ගැටුම්කාරි තත්වයෙන් තුවාල ලැබූ 7 දෙනෙකු මේ වනවිට මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් 3 දෙනෙකු වෙඩි වැදීම් නිසා ඇති වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ. මේ අතර, මෙම පෙළපාලිය ඉදිරියට ගමන් කිරීම මේ වනවිට පොලිසිය විසින් නවතා ඇති බව වාර්තා වනවා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පස්වරු 1:07

----------------------------------------------------------------------------------------

රනිල්ට එරෙහි පා ගමනට එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් බාධා.

 

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙවිනුවර විශ්ණු දේවාලය අසලින් අද (05) උදෑසන ආරම්භ වූ පා ගමනට එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පැමිණ විරෝධය පළකිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී දෙපිරිස අතර ගැටුමක් ද ඇති වූ බවයි එහි සිටි හිරු වාර්තාකරුවන් සදහන් කළේ. කෙසේ නමුත් පසුව ගැටුම්කාරී තත්ත්වය අවසන් වූ අතර විරෝධතා පා ගමන යළි ආරම්භ වුණා.

එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට සහ පක්ෂය විනාශ කිරීමට එරෙහිව තමන් සාමකාමී විරෝධතාවක නිරත වූ අතර එහිදී බීමතින් පැමිණි පිරිසක් පහර දුන් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජික ලසන්ත ගුණවර්ධන ප්‍රකාශ කළා.  

මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට මෙම පා ගමන මාතර නගරයට ළඟාවී ඇති අතර එහිදීද එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක්  හටගෙන ඇති බවයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පස්වරු 12:54

----------------------------------------------------------------------------------------

රනිල්ට එරෙහි සහ පක්ෂ පිරිස් දෙවුන්දරදී ගැටේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පෙරවරු 10:23

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙවිනුවර විශ්ණු දේවාලය අසලින් අද ආරම්භ වූ පාගමනට එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පැමිණ බාධා කිරීමත් සමඟ දෙපිරිස අතර, ගැටුමක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් මාතර - දෙවිනුවර නගරයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් පවතින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories