Business24 June 2026

පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක

බටහිර ආසියානු කලාපයේ පවතින භූ-දේශපාලනික නොසන්සුන්තා සහ ගෝලීය වෙළෙඳපොළ දර්ශකයන්හි පකිස්ථානයේ ශ්‍රේණිගත කිරීම් පහත වැටීම හේතුවෙන්, 2025-26 මූල්‍ය වසරේදී විදේශීය ආයෝජකයන් පාකිස්ථාන කොටස් වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 736ක ශුද්ධ ප්‍රාග්ධනයක් ඉල්ලා අස්කරගෙන ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා පවසනවා.

පාකිස්ථාන මහ බැංකුවේ දත්ත උපුටා දක්වමින් Arab News පුවත් සේවය වාර්තා කර තිබුණේ, අදාළ මූල්‍ය වසර තුළදී විදෙස් ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 298.3ක කොටස් මිලදී ගෙන ඇති නමුත්, ඩොලර් බිලියන 1.03ක කොටස් විකුණා දමා ඇති බවයි.

මේ අනුව සමස්තයක් ලෙස ඩොලර් මිලියන 736ක මුදලක් පකිස්ථාන වෙළෙඳපොළෙන් පිටතට ගලා ගොස් තිබෙනවා.

මෙසේ මුදල් ඉල්ලා අස්කරගත් ආයෝජකයන්ගෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ස්වීඩනය යන රටවලට අයත් වීම සුවිශේෂීයි.

විදේශීය ආයෝජකයන් මෙලෙස සිය කොටස් විකුණා දැමීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා.

ඉන් පළමුවැන්න නම් ගෝලීය දර්ශක සපයන්නන් විසින් පාකිස්ථාන ආයෝජන මට්ටම් පහත දැමීමයි.

ගෝලීය දර්ශක වර්ගීකරණයන්හි පකිස්ථානය සතු වූ ද්විතීයික නැඟී එන වෙළෙඳපොළ තත්ත්වය, 2021 වසරේදී MSCI ආයතනය විසිනුත්, 2024 වසරේදී FTSE Russell ආයතනය විසිනුත් ‘පෙරගමන් වෙළෙඳපොළක්’ දක්වා පහත හෙළනු ලැබුවා.

මේ හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් පාකිස්ථාන වෙළෙඳපොළට හිමි බර තැබීම අඩු වූ අතර, විදේශීය අරමුදල් කළමනාකරුවන්ට සිය ආයෝජන සමබර කරගැනීම සඳහා කොටස් විකුණා දැමීමට සිදු වුණා.

දෙවැනි කරුණ නම්, ඉරානය කේන්ද්‍ර කරගත් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් නිර්මාණය වූ අනාරක්ෂිත වටපිටාවයි.

මේ නිසා ජාත්‍යන්තර ආයෝජකයන් පකිස්ථානය වැනි අවදානම වැඩි කලාපීය වෙළෙඳපොළවල පවතින සිය ආයෝජන සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ප්‍රාග්ධනය පිටතට ගලායාම සිදුවූයේ පාකිස්ථාන කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකය අදාළ මූල්‍ය වසර තුළ සියයට 40ක පමණ ඉහළ වර්ධනයක් සනිටුහන් කර තිබූ පසුබිමකයි.

පාකිස්ථානයේ 2025-26 ආර්ථික සමීක්ෂණ වාර්තාවට අනුව, සාර්ව ආර්ථික දර්ශක යහපත් වීම, උද්ධමනය පහත වැටීම, වාසිදායක බාහිර ගිණුම් තත්ත්වය සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් මුල් කාල සීමාවේදී වෙළෙඳපොළ මෙලෙස ශක්තිමත් වී තිබුණා.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇෆ්ගනිස්ථානය සමඟ ඇති වූ නොසන්සුන්තා, කලාපීය භූ-දේශපාලනික අවදානම්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම සහ විදේශීය ආයෝජකයන් දිගින් දිගටම කොටස් විකුණා දැමීම හේතුවෙන් පකිස්ථාන කොටස් වෙළෙඳපොළේ පැවති සාධනීය ගම්‍යතාව මේ වන විට දුර්වල වෙමින් පවතින බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes