සඳෙහි අයිතිය චීනයටද? (වීඩියෝ)

Tuesday, 23 April 2024 - 15:02

%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AF%3F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
යම්හෙයකින් චීනය අමෙරිකාවට පෙර සඳ මත මිනිස් ජනාවාස ආරම්භ කළහොත් සඳ තමන්ට අයත් භූමියක් බවට චීනය ප්‍රකාශ කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට නාසා ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් අනතුරු අඟවා තිබෙනවා.

ඒ, නාසා ආයතනය සඳහා මූල්‍ය වියදම් අනුමත කරගැනීමේ කමිටුව හමුවේ අදහස් දක්වමින්.

ඔහු මෙහිදී පෙන්වා දී ඇත්තේ චීනය රහසිගත යුද ක්‍රියාකාරකම් සඳහා අභ්‍යවකාශය භාවිත කරමින් සිටින බවයි.

පෘථිවියේ දේශපාලන, ආර්ථික හා යුදමය වශයෙන් ආධිපත්‍යය දරන ප්‍රධාන රාජ්‍යයන් දෙක වන අමෙරිකාව හා චීනය මේ වනවිට අභ්‍යවකාශයේ මෙහෙයුම් සහ ඒ සඳහා කරන වියදම් ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අතරින් වඩාත් අවධානයක් එම රටවල් යොමු කර ඇත්තේ නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් සඳ මත මිනිස් ජනාවාස බිහි කිරීමයි.

කෙසේවෙතත් 1969 වසරේ සඳ ගමනින් පසු මිනිසුන් සහිත යානයක් සඳ මත මෙතෙක් ගොඩබැස්වීමට කිසිවෙකු සමත් වී නැහැ.

2030 වසර වනවිට මිනිසුන් සහිත යානයක් සඳ මත ගොඩබැස්වීමට චීනය සැලසුම් සකස් කර ඇති නමුත් එය ඊට පෙර සාර්ථක වනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

ඒ සඳහා පෙර පුහුණුවක් ලෙස චීනය පසුගිය වසරේ ගගනගාමීන් තිදෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කළා.

චීනය වාර්ෂිකව අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දරන පිරිවැය අමෙරිකානු ඩොලර් බිලියන 12කට ආසන්නයි.

මෙවැනි පසුබිමක අමෙරිකාව මිනිසුන් සඳට යැවීමේ මෙහෙයුම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති අතර 2025 වසරේ සැප්තැම්බර් මසදී ආටෙමිස් ටූ මෙහෙයුම හරහා මිනිසුන් සහිත යානයක් සඳ වටා කක්ෂගත කිරීමට අපේක්ෂිතයි.

2026 වසරේ සැප්තැම්බර් මසදී ආටෙමිස් ත්‍රී මෙහෙයුම හරහා සඳෙහි දකුණු අර්ධයට පළමු ගගනගාමීයා ගොඩබෑමට නියමිත අතර 2028 වසරේදී සඳ මත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කිරීමට ද නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

මෙම මෙහෙයුම් හරහා චීනයට පෙර අභ්‍යවකාශයේ සහ සඳ ගමනේ ආධිපත්‍යය ලබාගත යුතු බව නාසා ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් අවධාරණය කර ඇත්තේ මෙවැනි පසුබිමකයි.

2025 වසරට අදාළව අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 25.4ක් වෙන් කරගැනීම වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු මේ බව පෙන්වා දී තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ පසුගිය වසර 10 තුළ චීනය අභ්‍යවකාශ මෙහෙයුම්වල අසාමාන්‍ය ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත් ඒවා ඉතා රහසිගත මට්ටමින් සිදුව ඇති බවයි.

සිවිල් මිනිසුන් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා යොදාගන්නා බව පැවසුවද සත්‍යවශයෙන්ම ඒවා යුධමය ව්‍යාපෘති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

අමෙරිකාව සහ චීනය සත්‍ය වශයෙන්ම අභ්‍යවකාශ තරගයක නිරතව සිටින බවත්, 2030 වසර වනවිට චීනය සඳ මත ගොඩබෑමට සැලසුම් කර ඇති නමුත් එය ඊට පෙර සිදුවිය හැකි බවයි ඔහු පවසා ඇත්තේ.

එබැවින් සඳ මත පළමුව ගොඩබැස එහි පර්යේෂණ සාමකාමී අයුරින් කරගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරිය යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

යම්හෙයකින් චීනය අමෙරිකාවට පෙර සඳ මතට මිනිසුන් යවා ජනාවාස ආරම්භ කළහොත් සඳ තමන්ට අයත් භූමියක් බවට චීනය ප්‍රකාශ කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.

දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ස්ප්‍රැට්ලි දූපත් සමූහයට චීනය දිගින් දිගටම හිමිකම් කියූ ආකාරය නිදසුනක් ලෙස දක්වමින් නෙල්සන් මේ බව පෙන්වා දී ඇතැයි සඳහන්.

අමෙරිකාව විසින් හඳුන්වා දී ඇති අටෙමිස් ප්‍රඥප්තිය අනුව අභ්‍යවකාශ මෙහෙයුම් සාමකාමී අරමුණු සඳහා පමණක් භාවිත කළ යුතු අතර එම ප්‍රඥප්තියට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 40ක් පමණ අත්සන් තබා තිබෙනවා.

කෙසේවෙතත් චීනය එම ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති අතර මේ හේතුවෙන් අමෙරිකාවේ අභ්‍යවකාශ රෙගුලාසි චීනය විසින් තැකීමක් නොකරනු ඇති.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories