ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාව සහ සංවර්ධනයේ වැදගත් වැඩ කොටසක් 2013 වසරේ දී මාතෘ භූමියේ සිදුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එම වැඩ කොටස් සම්පූර්ණ කිරීම සඳහා සියලූ ජාතීන් එක්සත්ව එක්සිත්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. දෙස් විදෙස් ජනතා විශ්වාසයක් දිනාගත් රජයක් ලෙස වත්මන් රජය නව වසරට පිවිසෙනවා. ඒ නිසා අධිෂ්ඨානශීලීව, ධෛර්යවන්තව, කැපවීමෙන් 2013 නව වසරේ දී අති සාර්ථකත්වයක් ළගා කර ගැනීමට සියලූ දෙනාට හැකි වේවායි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩය මගින් ප්‍රාර්ථනා කර තිබෙනවා.
නව වසරේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න කියා සිටියේ ආසියාවේ ආශ්චර්යය කරා අප යන ගමනේ දී 2013 තීරණාත්මක වසරක් බවයි. සමස්ත ජාතියක් ලෙස ඉටු කළ යුතු අභියෝග රැසක් අප හමුවේ පවතින බවත්, ඒවා ජය ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය දැනටමත් කටයුතු කර ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
2013 වසරට අප පිවිසෙන්නේ දේශයේ සහ එහි අනාගතය පිළිබදව පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතය පිළිබදව සැක සංකා ගණනාවක් මතුව ඇති පසුබිමක බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. නව වසරේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මේ සියල්ල මධ්‍යයේ වුවද සකල ශ්‍රී ලංකාවාසී ජනතාව අඟ හිඟකමින් තොර, සුවපත් ජීවිත මට්ටමක් පිළිබදවත් නීතිය හා සාධාරණත්වය සුරැකෙන සමාජයක් පිළිබදවත් අපේක්ෂා දල්වාගෙන නව වසරට පිවිසෙන බවයි.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ නව වසරේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අප ඉදිරියේ ඇති අභියෝග නිවැරදිව හඳුනාගෙන ඒවා ජය ගැනීම සඳහා වූ නව දේශපාලන ගමන් මඟකට නව වසරේ ප්‍රවේශ විය යුතු බවයි. නව වසරේ දී නිවැරදි සහ නව දේශපාලන තීරණ ගැනීමට ශ්‍රී ලාංකීය ජනතාව බුද්ධිමත් විය යුතු බව ද ජනතා විමුක්ති පෙරමුණු නායකයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.
Follow US
Most Viewed Stories